Monday, May 6, 2024

General line - 0115112241

සාකච්ඡා අසාර්ථක වීමෙන් දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව




පාර්සල් භාර ගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය අද තීරණය කළා. 

ඒ, ප්‍රවාහන බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්. උසස්වීම්, බඳවා ගැනීම් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බලපාන ගැටළු කිහිපයක් මෙන්ම ජනතාවට ප්‍රමාණවත් පරිදි දුම්රිය ප්‍රමාණයක් ධාවනය නොකරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වර්ජනය ආරම්භ කළා. 

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ප්‍රවාහන බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවේදී සිය ගැටළුවලට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ. මේ, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වුවද, දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ හැකි බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ. 

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට බලධාරීන් කඩිනමින් නිසි විසඳුම් ලබා නොදුනහොත් සෙසු දුම්රිය වෘත්තීය සමිති සමග එක්ව එළඹෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට දැවැන්ත වැඩවර්ජනයකට අවතීර්ණවීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළා.