Tuesday, May 14, 2024

General line - 0115112241

නව වසර උදාවේදී රිය අනතුරුවල වැඩිවීමක් - යතුරු පැදියේ වැඩි වේගය තරුණ යුවළකට කැස්බෑවේදී මරු කැඳවයි




 
කැස්බෑව - බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු  පැදියක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම සිදුව ඇති එම අනතුරෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙක් හා 19 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදිය මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටී අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අනතුරින් මියගොස් ඇති තරුණයා බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර මියගිය තරුණිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ අතර දුන්ගල්පිටිය, කැපුන්ගොඩ, නැංගුරම් තොටුපළ වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළපහරකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඉන් හතරදෙනෙකු මුදාගෙන ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමේදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ 17 සහ 23 හැවිරිදි වියේ පසුවූ පමුණුගම හා ඒකල ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක්. රළ පහරට ගසා ගොස් අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා තයදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි අඹේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර පින්නවල හේන්යාය ඇස්ඇද්දුම මාර්ගයේ ඉහළ කොටසේ යතුරු පැදියක් කඳු සහිත ප්‍රදේශයක ධාවනය කිරීමේදී එහි පිටුපස ගමන්කළ දරුවෙකු බිමට ඇදවැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ පින්නවල, ඇස්ඇද්දුම ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ත්‍රීකුණාමලය - හබරණ මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේදී හබරණ සිට ත්‍රීකුණාමලය දෙසට ධාවනය කළ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස්රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවූ මහරගම, විද්‍යාසේකර මාවතේ පදිංචිව සිටි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.