Monday, May 20, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට - ඉලක්කම් ගැන නොසිතා වගකීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්

තුසිත කුමාර




මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකු බේරුවල ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟයි. 

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාළන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ පැවසුවේ එලෙස හඳුනාගැණුනු ආසාදිතයා බේරුවල චීනකොටුවේ මැණික් ව්‍යාපාරිකයෙකු බවයි. විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. 

ඒ අනුව එම මැණික් ව්‍යාපාරිකයා නිවෙස් නිරෝධායනයට යොමු කළ බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාළන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ මෙලෙස වාර්තා වන සංඛ්‍යාවන්ට වඩා වැඩි ඔමික්‍රොන් ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවයි. එම නිසා ඉලක්කම් ගැන නොසිතා ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමින් අවදානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් ඉකුත් මාසයේ සති අන්තවලදී දිවයිනේ බොහෝ ආගමික ස්ථානවල මෙන්ම සංචාරක ස්ථානවලට වැඩි වශයෙන් ජනතාව පැමිණ තිබුණා. ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් මීට පෙර සඳහන් කළේ.