Monday, May 20, 2024

General line - 0115112241

ලිට්‍රො සමාගම ගෑස් ණයට ගනී - අද සිලින්ඩර් 35,000 ක් වෙළඳපොළට




ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙරටට ගෑස් ලබාගැනීමට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දිනයේ මෙරටට පැමිණි නෞකාවේ ගෑස් මෙටි්‍රක් ටොන් 3,600 ගොඩබෑම සිදුකළේ මුදල් පසුව ලබාදීමේ පදනම මත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

සාමාන්‍යයෙන් දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000 ක් වනවා. එහෙත් ඊයේ දිනයේ නිකුත් කර ඇත්තේ ගෑස් සිලින්ඩර් 12,000 ක් පමණක් බවයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

යම් හෙයකින් නෞකාවේ තිබූ ගෑස් තොගය ගොඩබෑමට දින දෙක තුනක් ප්‍රමාද වූයේ නම් මෙරට වෙළඳපොළ තුළ ගෑස් සම්පූර්ණයෙන්ම නොමැති වීමට ඉඩ තිබූ බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් අද දිනයේ ගෑස් සිලින්ඩර් 35,000 ක් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. එහෙත් පවතින ගෑස් හිඟය මඟහැරීයාමට තවත් මසක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රො සමාගම සඳහන් කළේ.

ගෑස් මිලදී ගැනීම සඳහා අද දිනයේද බොහෝ ප්‍රදේශවල ජනතාව දිගු පෝළිම්වල සිටි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. ඒ, බොහොමයක් වෙළඳසැල්වල ගෑස් නොමැති බවට දැන්වීම් පළ කර තිබියදීයි.

මේ අතර ගෑස් නොමැතිවීම හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ආපනශාලා බොහොමයක් වසා දමා තිබුණා. ගෑස් නොමැති වීමෙන් කර්මාන්ත ඇතුලු බොහෝ ක්ෂේත්‍රවලට මේ වන විට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.