Wednesday, May 15, 2024

General line - 0115112241

රාජ්‍ය සේවක සහ විශ්‍රාම දීමනාවලට රුපියල් බිලියන 127 ක්




රජය ලබාදුන් විශේෂ ආර්ථික සහන සඳහා රුපියල් බිලියන 229 කට අධික මුදලක් වැයවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. 

ඒ අතරින් රුපියල් බිලියන 127 ක් වැය වන්නේ රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමටයි.

මෙරට සමස්ථ රාජ්‍ය සේවකයින් දහහතර ලක්ෂ 50,450 දෙනෙකුට හා විශ්‍රාමිකයින් හය ලක්ෂ 66,480 දෙනෙකුට මේ මස සිට රුපියල් 5,000 බැගින් ලබාදෙනවා. 

දහ හත් ලක්ෂ 93,000 කට අධික සමෘද්ධි ලාභීන් සඳහාද ජනවාරි මාසයේ සිට අතිරේකව තවත් රුපියල් 1,000 ක දීමනාවක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

මෙලෙස සහන ලබාදීමට ආණ්ඩුවට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ.

පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියෙකුටද රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමටත්, අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමටත් තීරණය කර තිබෙනවා. 

ඒ සඳහා රුපියල් බිලියන 31 ක මුදලක් වැයවනු ඇති බවටයි අමාත්‍යවරයා පැවසුවේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ඉකුත් මාස 06 ක කාලය තුළදී රාජ්‍ය ආයතන මඟින් වියදම් අවම කර රුපියල් බිලියන 53 ක් භාණ්ඩාගාරයට ඉතිරි කර දුන් බවයි.

මේ වසරේදී විදේශීය මුදල් සංචිතය වර්ධනය කර ගැනීමට ගන්නා පියවර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රහසිගත වාර්තාවක් තමන්ට ලැබී ඇති බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

රටේ ඩොලර් හිඟයට විසදුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.