Tuesday, May 14, 2024

General line - 0115112241

මිනිසුන් ගංඟා වැනසීම නිසා කිඹුලන් මුහුදට පැමිණීම වැඩිවේ




මුහුදු ප්‍රදේශවලට පැමිණෙන කිඹුලන්ගේ ගහණය වැඩිවෙමින් ඇතැයි සත්ත්වවේදීන් පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ සුපුන් ජයවීර පැවසුවේ ඇළ මාර්ග හා ගංඟා ආශ්‍රිත වැලි කැණීම් හේතුවෙන් මෙලෙස කිඹුලන් මුහුදු ප්‍රදේශවලට පැමිණීම වැඩිවී ඇති බවයි.

මෙරට මුහුදු තීරයේ කිඹුලන් පිළිබඳ දැඩි කතාබහක් මතුවූයේ දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිට කිඹුලෙකු හමුවීමත් සමඟයි. දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිට ඇත්තේ ගැටකිඹුලා යන විශේෂයට අයත් කිඹුලෙක්. මෙම කිඹුල් විශේෂය කරදියට අනුවර්ථනය වීමේ හැකියාවෙන් යුක්තයි. ලොව සිටින විශාලතම උරග විශේෂයට එම ගැටකිඹුල් විශේෂය අයත් වනවා.

මිනිසුන්ගේ ක්‍රියාකළාපයන් හේතුවෙන් සමස්ථයක් ලෙස ගත් කළ රටේ කිඹුල් ගහණය අඩුවෙමින් ඇති බවයි පරිසරවේදී නීතීඥ සුපුන් ජයවීර පැවසුවේ.

කිඹුලෙකු දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ. කෙසේවෙතත් ජනතාව පත්වන පීඩාව සලකා දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා. 
දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකුට පෙරේදා දිවි අහිමි වුණා. මෙලෙස මිය ගොස් තිබුනේ විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙක්. කිමිදුම්කරුවාගේ මියයෑමත් සමග දෙහිවල මුහුද අවට ජනතාව මහත් භීතියට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.