Monday, May 6, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් අභිබවා ගිය ජාන විකෘතිතා ඇති නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවෙයි




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ඇති ජාන විකෘතිතාවයන් අභිබවා යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හදුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

IHU නමින් හදුන්වන මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ජාන විකෘතිතාවයන් 46 කින් සමන්විත වන බවයි ප්‍රංශ විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අප්‍රිකානු කලාපයක් වන කැමරූන් හි සංචාරය කොට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී භයානක කොවිඩ් ප්‍රභේදයන් ඇතිවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.

වේගවත් ලෙස සම්ප්‍රේෂණය වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ගතවූ පැය 24 ක කාලය තුලදී කොවිඩ් ආසාදිතයින් මිලියන 2.1ක් ගෝලීයව වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී ඇත. එය ආසාදිතයින් 567,696ක්. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 218,724ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 271,686ක්, ඉතාලිය 170,844ක්, ස්පාඤ්ඤය 117,775ක්, ආර්ජන්ටිනාව 81,210ක්, තුර්කිය 54,724ක්, ඉන්දියාව 58,097ක්, ග්‍රීසිය 50,126ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.