Monday, May 6, 2024

General line - 0115112241

තවත් විකෘති කොරෝනා ප්‍රභේදයක් ප්‍රංශයෙන්




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ඇති ජාන විකෘතිතාවයන් අභිබවා යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හදුනා ගෙන තිබෙනවා. 

ප්‍රංශ විද්‍යාඥයින් පවසන්නේ ෂ්‍යඹ ලෙස නම් කර ඇති එම නව කොවිඩ් ප්‍රභේදය ජාන විකෘතිතාවයන් 46 කින් සමන්විත වන බවයි. 

එම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු මේවනවිට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අප්‍රිකානු කලාපයට අයත් කැමරූන් රාජ්‍යයේ සංචාරය කර පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. 

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් මෙතෙක් වාර්තා වී නොමැති බව ද ප්‍රංශ වෛද්‍ය විශේෂඥයින් පවසනවා. 

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යලිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමගයි. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 90, 928 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේවනවිට එරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් 2, 630 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. 

එම ආසාදිතයින් ඉන්දියාවේ ප්‍රාන්ත 26 කින් හඳුනාගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.