Wednesday, May 15, 2024

General line - 0115112241

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර




පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසනවා.  

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවයි. 

ඒ අනුව පාපැදිවල ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීමට නියමිතයි. පරිසර අමාත්‍යාංශයට අයත් අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සදහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයක් ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හදුන්වා දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. මෙම වැඩසටහන අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිතයි.

වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103 යි ශත 56 ක් වැය කිරීමට සිදුව ඇතැයි සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236 යි ශත 48 ක් ඉතිරි කරගත හැකි වන අතර ඉන් රජයට සිදුවන ලාභය රුපියල් 339 ශත 98 ක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට හැකි වනවා. මේ හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.  ඉදිරි වර්ෂය තුළ වාහන ආනයනය කරන්නේ නම් විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කර තිබෙනවා.