Wednesday, May 15, 2024

General line - 0115112241

තවත් විදුලි බලාගාරයක් අක්‍රිය වෙයි 




කැලණිතිස්ස සුජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර තිබෙනවා. 

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය අක්‍රීය කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වනවා.  

ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවටයි මහජන උපයෝගීතා කොමිසම මීට පෙර ප්‍රකාශ කළේ. ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇති හෙයින් හෙට දිනය දක්වා විදුලිය කප්පාදු නොකරන ලෙසයි  මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ දැනුම් දුන්නේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම ඊට හේතු වී තිබෙනවා. 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. පවතින තත්ත්වය හමුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජනවාරි මස 30 වනවිට යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි බලශක්ති අමාත්‍යාංශය අපේක්‍ෂා කරන්නේ.