Wednesday, May 15, 2024

General line - 0115112241

හොරෙන් ගෙනා තවත් රතු අල කිලෝ 16,000ක් රේගු භාරයට




අර්තාපල් අතර සගවා පාකිස්තානයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ රතු අල කිලෝ ග්‍රෑම් 16,000ක් බහලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.  රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් මෙම බහලුම් දෙක අද පරීක්ෂාවට ලක් කර තිබුණා.  

වත්තල  ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ඉන්දියාවේ පිහිටා ඇති සමාගමකින් ඇණවුම් කර මෙම බහාලුම් දෙක මෙරටට ආනයනය කර තිබුණ අතර එහි අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් එම බහාලුම් පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙරටට ආනයනය සීමා කර ඇති රුපියල් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුත් රතු අල කිලෝග්‍රෑම් 16,000 ක් සොයා ගනු ලැබුවා.

මෙම රතු අල තොගය අර්තාපල් අඩංගු බෑග් වලට සමාන බෑග් වල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. මේ වන විට මෙම භාණ්ඩ නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත  සිල්වා පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කොට ආනයනකරුට වැඩිදුර දඩ පැනවීමට නියමිතයි.