Wednesday, May 15, 2024

General line - 0115112241

බූස්ටර් මාත්‍රාව ලබාදීම වේගවත් කිරීම සඳහා ඉදිරි සති 02 තුලදී ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන




බූස්ටර් මාත්‍රාව ලබාදීම වේගවත් කිරීම සඳහා ඉදිරි සති 02 තුලදී ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

යුද්ධ හමුදාපතිවරයා ඒ බව සඳහන් කළේ දියතලාව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සියලු විද්‍යුත් නාලිකා හරහා අද විකාශය කෙරුණා. එම වැඩසටහන සංවිධාන කළේ ජනමාධ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදය එක්වයි. ඊට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ එන්නත ලබාදීම සෞඛ්‍ය අංශ බලහත්කාරයෙන් සිදු නොකරන බවයි. 

එන්නත්කරණයේ සාර්ථකත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම විභාග පැවැත්වීමට ද අවස්ථාව හිමිවූ බව ඔහු සඳහන් කළා. 

ඕනැම එන්නතක ප්‍රතිශක්තිය කලක් ගතවන විට අඩුවී යන බැවින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ.  

සුළු අතුරු ආබාධ ඇතිවීම ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ.