Friday, May 17, 2024

General line - 0115112241

ලතා මංගෙෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් ඉන්දියාවේ දෙදින ශෝක කාලයක් - දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි




භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අභාවයත් සමග සමස්ථ ඉන්දියාවම මේවනවිට මහත් ශෝකයට පත්ව සිටිනවා. ඉන්දීය රජය විසින් ඇයගේ අභාවය වෙනුවෙන් අද සහ හෙට යන දෙදින ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එම කාලය තුලදී කිසිඳු ප්‍රසිද්ධ උත්සවයක් පැවැත්වීමට ද අවසර හිමිවන්නේ නැහැ. 

ලතා මංගේෂ්කාර්ගේ දේහය ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ සිට ඇය දිවිගෙවූ මුම්බායි නුවර පිහිටි ඇයගේ පෞද්ගලික නිවෙස වෙත අද දහවල් රැගෙන ආවා. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොලිවුඩ් තරු රැසක් මෙන්ම දේශපාලනඥයින් ද එම නිවසට පැමිණ සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. නිවසේ සුළු වේලාවක් තැන්පත් කර තැබුණු දේහය ඉන් අනතුරුව මහජන ගෞරවය සඳහා රැගෙන ආවේ මුම්බායි නුවර ශිවාජී උද්‍යානයටයි. ලතා මංගෙෂ්කාර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ශිවාජී උද්‍යානයේදී මේවනවිට පැවැත්වෙනවා. එම කටයුතු සිදුකෙරෙන්නේ පුර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. 

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ මුම්බායි නුවර සහ ශිවාජි උද්‍යානය අවට ආරක්ෂාව තර කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. අවමංග්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද පස්වරුවේ මුම්බායි නුවරට පැමිණියා.  

ලතා මංගේෂ්කාර්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ නිවෙසට මෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ශිවාජි උද්‍යානයට ද විශාල පිරිසක් රැස්ව සිටියා. දේහය ආදාහනය කිරීම සඳහා සඳුන් දර කිලෝ ග්‍රෑම් 25 ක් සූදානම් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  
මේ අතර ලතා මංගෙෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශෝකය පළ කර තිබෙනවා. එහි දැක්වෙනනේ ලතා මංගෙෂ්කාර් යනු ස්වර්ණමය සහ අසමසම කටහඬින් බිලියන ගණනක හදවත් ස්පර්ශ කළ ඉන්දියාවේ සංගීත රැජින බවයි. ඇගේ මධුර කටහඬ සියවස් ගණනාවක් මතකයේ රැඳෙන පුරාවෘත්තයක් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්. 

මේ අතර ලතා මංගෙෂ්කාර්ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සංගීතය විශ්ව භාෂාවක් යන වදනට ලතා මංගෙෂ්කාර් ජීවය ලබාදුන් බවයි.

මේ අතර ලතා මංගෙෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කර විපක්ෂ නායක සජිත් ප්‍රේමදසා මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ලකා මංගේෂ්කාර් යනු ඇයගේ මනරම් හඬින් සංස්කෘතීන් හරහා පාලමක් ගොඩනැගූ පුරාවෘත්තයක් බවයි. 

මේ අතර ලතා මංගෙෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් පකිස්තානය ද ශෝකය පළ කර තිබෙනවා. ඇගේ කටහඬ සදා රැව්පිළි රැව් දෙනු ඇති බවයි පකිස්තානය පවසා ඇත්තේ.