Friday, May 17, 2024

General line - 0115112241

සංචාරකයින්ගේ කොවිඩ් රක්ෂණාවරණය තවත් ඉහළ දමයි




මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ කොවිඩ් රක්ෂාවරණය අමෙරිකානු ඩොලර් 7, 500 දක්වා ඉහළ දමා තිබෙනවා. එම රක්ෂණාවරණය ලබාගැනීම මීට පෙර අනිවාර්යය කර තිබූ බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් 5000 ක්ව පැවැති විදෙස් සංචාරකයින්ගේ කොවිඩ් රක්ෂණාවරණය අමෙරිකානු ඩොලර් 7500 දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ද වැඩිකිරීමට කටයුතු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළා. 

කොරෝනා වසංගතය දරුණු ලෙස පැවැති ඉකුත් වසරේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් එක්ලක්ෂ 94, 495 දෙනෙකු පමණයි. කෙසේවෙතත් පසුගිය මාසයේදී පමණක් සංචාරකයින් 82, 327 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙරටට සංචාරකයින්ගේ පැමිණීම සාමාන්‍ය අතට පත්වෙමින් ඇති බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ. පෙබරවාරි මාසයේ මුල් දින 04 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 11, 535 ක්. එම දිනවලින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ පෙබරවාරි 02 වනදායි. එම දිනයේදී සංචාරකයින් 3, 335 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය සඳහන් කළා. 

මේ අතර මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියරව ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.  

ඒ සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට අමතරව සංචාරක කලාප හා සංචාරකයින් ගමන් කර පොදු ප්‍රවාහන සේවාවලට අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ. දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලීසිය වෙනම පොලිස් ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ගල්කිස්ස සහ උණවටුන සංචාරක පොලිස් ස්ථාන අළුතින් ඉදිකිරීම ද මේවනවිටත් ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළා.