Friday, May 17, 2024

General line - 0115112241

නායයාම් සහ ගංවතුර හේතුවෙන් බ්‍රසීලයේ 94 ක් මරුට




බ්‍රසීලයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ රියෝ ද ජනයිරෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට ඇදහැලුනු ප්‍රබල වර්ෂාපතනයත් සමග බලපෑ ජල ගැලීම් හා නායයාම් තත්ත්වයන් හේතුවෙන් එම පුද්ගලයින් මියගොස් ඇති බවයි. ආපදා තත්ත්වයට බලපා ඇති ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බැවින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බ්‍රසීල බලධාරින් පවසන්නේ. 

ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් නිවාස 400 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. ආපදාවට ලක්වූ ඇතැම් ප්‍රදේශවලට ලගාවීමට පවා සහන සේවකයින්ට අපහසු වී ඇති බැවින් සිදුව ඇති ජීවිත හානි සහ දේපල හානි පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද රියෝ ද ජනයිරෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසනවා. මේවනවිට එහි පවතින තත්ත්වය යුදමය තත්ත්වයකට සමාන බවයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

ජනයා ජීවත්ව සිටි බවට හෝ විශ්වාස කළ නොහැකි තරමට ගංවතුර හා නායයාම් හේතුවෙන් ඇතැම් ප්‍රදේශ විනාශයට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළා.