Sunday, May 19, 2024

General line - 0115112241

විදුලිය කැපෙන කාලය ඉන්ධන සැපයුම අනුවයි - මහජන උපයෝගීතා කොමිසම කියයි




ඉදිරි දිනවල විදුලි කප්පාදු කරන ආකාරය පිළිබඳ කිසිදු පූර්ව ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ දෛනිකව විදුලි කප්පාදු කරන වේලාව තීරණය වන්නේ දෛනිකව ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත බවයි.

ඒ අනුව ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩු වන්නේ නම් විදුලිය කප්පාදු කිරීමට සිදුවන වේලාව වැඩිවන බව ඔහු සඳහන් කළා.

අද දිනයේද කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරත්, පැය හතරයි විනාඩි 40 ත් අතර කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ කලාප කිහිපයකට පැය හතර හමාරක්ද, සෙසු කළාපවලට පැය හතරයි විනාඩි 40 ක කාලයක් ද විදුලිය විසන්ධි කරන බවයි.

පෙරේදා දිනයේ පස්වරු 04 යි 30 සිට රාත්‍රී 10 යි 30 දක්වා කාලය තුළ එක් එක් ප්‍රදේශවලට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. එහෙත් ඊයේ දිනයේදී A,B,C යන ඛාණ්ඩ 03 ට පමණක් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුවූ අතර අනෙක් සියලු ඛාණ්ඩ සඳහා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. 

ඊට හේතුවී තිබුණේ ඊයේ දිනයේ මෙගාවොට් 541 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීම සඳහා බලාගාර වෙත ඉන්ධන නොමැතිවීමයි.