Wednesday, April 24, 2024

General line - 0115112241

NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව හා එක්ව ජාතික ප්‍රේෂණ ජංගම දුරකථන ඇප් එකක් එළිදක්වයි




 NDB බැංකුව මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව හා සමඟ එක්ව ජාතික ප්‍රේෂණ ජංගම දුරකථන ඇප් එක වන "ලංකා රෙමිට්" (Lanka Remit) නිකුත් කළේය.   

ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් හඳුන්වා දී වැඩිදියුණු කරන ලද "ලංකා රෙමිට්" ඇප් එක  ඩිජිටල් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් එළිදැක්විණි. NDB බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලුම බැංකු සහ මුල්‍ය ආයතන වෙනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළේය.

මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවට ගලාඑන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට මේ අවස්ථාවේ කටයුතු කරමින් පවතින අතර විදේශයන්හි සිට මුදල් ලංකාවට  එවීමේදී විධිමත් ප්‍රේෂණ මාර්ග භාවිතාව ද දිරිමත් කරයි. ජාතික ප්‍රේෂණ ජංගම දුරකථන ඇප් එක වන "ලංකා රෙමිට්" මඟින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙත දැනට පවතින ප්‍රේෂණ මාර්ග වෙත ප්‍රවේශ අවකාශ සපයයි. ඊට අමතරව,  ශ්‍රී ලංකාවට මුදල් එවීමේදී ඔවුනට වඩාත් පහසු සහ ලාබදායි ප්‍රේෂණ මාර්ග තෝරාගැනීම සඳහා ඔවුනට ඉඩ සලසා දෙයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අන්තහ්කරණය දිරිගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවත් සමඟ ඉතා සමීපව කටයුතුකර ඇති NDB බැංකුව, එහි සම්මාන දිනූ ඇප් එක වන NDB NEOS හරහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් මෙන්ම NDB NEOS ඔන්ලයින් සහ බැංකුව සතුව බොහෝ වශයෙන් ඇති phygital ශාඛා වැනි අනෙකුත් පහසුකම්ද ලබාදේ. ඒ, සිය තේමා පාඨය වන අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු අනුව යමිනි. වසර 2020 ඇතිවූ පළමු Covid-19 රැල්ලෙන් පසුව, NDB බැංකුවේ ගණුදෙනුකරුවන්ගෙන් 50% කට වඩා වැඩි සංඛ්‍යාවක් ඩිජිටල් වශයෙන් ක්‍රියාකාරී වූ අතර, බැංකුවේ ඩිජිටල් ගණුදෙනු වල පරිමාව 400% කින් සහ මුළු ගණුදෙනු වල වටිනාකම 150% කින් වර්ධනය වී ඇත. වසර 2020 දී පමණක්, NDB NEOS හරහා සිදුකෙරුණ මුළු ගනුදෙනු වල වටිනාකම 311% ක වැඩිවීමක් වාර්තා කළේය. වසර 2021 දී, දිවයින පුරා පරිශීලකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් සමඟින් එය ගනුදෙනු වටිනාකමින් රුපියල් බිලියන 100 යේ සන්ධිස්ථානය පසුකළේය. බැංකුකරණ ක්ෂේත්‍රයේ සාර්ව ඩිජිටල් නිරූපනයක වැදගත්කම සනිටුහන් කරමින්, NDB NEOS ඇප් එක 100,000 අධික වතාවක් බාගතකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් 'ග්ලෝබල් ෆයිනෑන්ස්' (Global Finance) සඟරාව විසින් 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව -2021" (Sri Lanka's Best Bank 2021) සහ එක්සත් රාජධානියේ 'ද බෑන්කර්'  (The Banker Magazine) සඟරාව විසින් "වසරේ ශ්‍රි ලංකාවේ බැංකුව" (The Bank of the Year Sri Lanka) වශයෙන් කිරුළු පැළඳීමට අමතරව, "ඒෂියාමනි විශිෂ්ට බැංකු සඳහා සම්මාන" (Asiamoney Best Bank Awards) උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් NDB බැංකුව "විශිෂ්ටතම ඩිජිටල් බැංකුව 2021" (Best Digital Bank 2021) යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. NDB යනු ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලයිස්තුගත බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ.