Thursday, April 18, 2024

General line - 0115112241

රට පුරා හුස්මයි පොහොරයි වගා කිරීමට SLT-MOBITEL පෙරමුණ ගනී (PHOTOS)




ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස SLT-MOBITEL, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් හරිතවත් සහ තිරසර අනාගතයක් උරුමකර දීම සඳහා ජාතික රුක් රෝපණ වැඩසටහනක් දියත්කර තිබේ.

දේශගුණික විපර්යාසවලට ඇති බලපෑම අවම කිරීම සඳහා වා තලයේ ගුණාත්මකබව වැඩිදියුණු කිරීම සඳහා SLT-MOBITEL මෙම ව්‍යාපෘතිය මගින් කැපීපෙනෙන මැදිහත්වීමක් සිදු කරයි. එමගින් මෙරට ජනතාවගේ සමස්ත සෞඛ්‍යය සහ සුබසිද්ධිය තහවුරු කිරීම ප්‍රමුඛත ම අරමුණයි.

එම උත්සාහයේ පළමු පියවර ලෙස වනාන්තරකරණය, කාබනික විමෝචනය සහ හරිතාගාර වායු අවම කිරීම හා ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිය පාරිසරික සමාජ පරිපාලන වැඩසටහන (ESG) යටතේ මොණරාගල ප්‍රදේශයෙන් මී ගස් වගා කිරීමේ ව්‍යාපෘතිය දියත් කළේය. ශාක වගා කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත්කරමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මෙරට කර්මාන්ත සඳහාත්, ජනතාවටත් පමණක් නොව සමස්තයක් ලෙස මෙරට ගහ-කොළ රැකගැනීම සඳහාත් විශාල දායකත්වයක් ළඟාකර ගත හැකි බව SLT-MOBITEL සමාගමේ විශ්වාසයයි.

තිරසර කෘෂිකර්මාන්තයට නැතිවම බැරි මී ගස

කාබනික ගොවිතැන පිළිබඳ විශාල කතාබහක් ඇති වී තිබෙන මෙවන් මොහොතක මී ගසේ වැදගත්කම අන් කවරදාටත් වඩා ඉස්මතු වී තිබේ. මෙරට පැරැන්නන් තම කුඹුරු ආශ්‍රිතව මී ගස් වගා කිරීමට පෙළඹීමට ප්‍රධානත ම හේතුව වූයේ එමගින් පස පෝෂණය කිරීමට ලැබුණු දායකත්වයත්, පළිබෝධ නාශකයක් ලෙස ඊට ඉටුකළ හැකි මෙහෙයත් හේතුවෙනි. මී ගෙඩි සහ මල් කා දමන වවුලන්ගේ වසුරුවලින් ශාක වර්ධනය සඳහා අවශ්‍ය නයිට්‍රජන් සහ අනෙකුත් සංඝටක රාශියක් හිමිවන බවට විශ්වාස කෙරේ.

ව්‍යාපෘතියේ භූගෝලීය සැලසුම

මී ගස ප්‍රධාන වශයෙන් වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ දක්නට ලැබෙන බැවින් මෙම ව්‍යාපෘතිය හරහා අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, මොණරාගල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර ආදී ප්‍රදේශ ආවරණය කිරීමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා අලුත් ක්‍රමවේදයක්

වගා කෙරෙන ශාකවල වර්ධනය සහ පැවැත්ම තත්කාලීන ලෙස (Real-time) අධීක්ෂණය කිරීම සඳහා 'තුරු' නමින් ජංගම දුරකථන යෙදවුමක් ද SLT-MOBITEL හඳුන්වා දී ඇත. කලාපීය වශයෙන් ව්‍යාපෘතිය යටතේ වගාකර ඇති පැළ ප්‍රමාණය මෙම යෙදවුම මගින් පෙන්නුම් කෙරේ. තවද, මාස 3 කට සහ 6 කට වරක්, එම වගාකරුවන් සමග සම්බන්ධ වෙමින් එම කාලය තුළ පැළවල වර්ධනය සහ තිරසරබව පෙන්නුම් කෙරෙන ලෙස ඡායාරූප යෙදවුමට ඇතුළත් කිරීමට ද දිරිමත් කෙරේ.

කාලයේ අවශ්‍යතාව මත ජාතික මෙහෙවරක් ලෙස දියත් කෙරෙන මෙම වැඩසටහනේ පළමු අදියර මොණරාගල දිස්ත්‍රික්කයෙන් දියත් කෙරුණු අතර දෙවන අදියර 2022 පෙබරවාරි මසදී දියත් කෙරිණි. ඒ අනුව, මේවන විට නිකුත්කර ඇති මී පැළ ප්‍රමාණය 700 ඉක්මවන අතර මීළඟ අදියර අනුරාධපුර ප්‍රදේශයේ දියත් කිරීමට සැලසුම්කර ඇත.

SLT-MOBITEL සමාජ මාධ්‍ය හරහා ඕනෑම අයෙකුට මෙම ජාතික ක්‍රියාන්විතය සමග සම්බන්ධ විය හැකිය.

අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි අද දවසේ යුතුකම ඉටුකරමු!