Tuesday, May 21, 2024

General line - 0115112241

රුසියානු ජනපතිගෙන් බටහිර රටවලට තර්ජනයක්




රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් විවිධ අයුරින් ප්‍රතිචාර දක්වමින් සිටින බටහිර සහ යුරෝපානු රටවලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් බටහිර සහ යුරෝපානු රටවල් විසින් රුසියාවට එරෙහිව සිදුකරන සම්බාධක පැනවීම්, රුසියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් සේ සලකන බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ. 

එමෙන්ම යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් සිය රටට එරෙහිව කිසියම් රටක් විසින් ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් එය යුක්රේනය සහ රුසියාව අතර පවතින අර්බුදයට මැදිහත් වීමක් සේ සලකා කටයුතු කරන බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළා. 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව ප්‍රකාශ කළේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් සහ යුරෝපානු රටවල් රැසක් යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති පසුබිමක් තුළයි. එමෙන්ම අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක්ම මේවනවිටත් රුසියාවට එරෙහිව ගුවන් තහනම් කලාප ප්‍රකාශයට පත් කර ඇති අතර ඇතැම් රටවල් රුසියාව වෙත මෙන්ම රුසියාවෙන් සිය රට වෙත සිදුකරන ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත් රුසියාව විසින් සිය රටට එරෙහිව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම හා එල්ල කරමින් ඇති ගුවන් ප්‍රහාර පිළිබඳ සලකා බලා යුක්රේනය තුළ ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඉකුත් දා නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් ද කළා. 

කෙසේවෙතත් නේටෝ සංවිධානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී නෝටෝ සංවිධානය විවේචනයට ද ලක් කළා. නේටෝ සංවිධානයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා අමරිකානු සෙනට් මණ්ඩලයට ද කරුණු දක්වා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ, සූම් තාක්ෂණය හරහා අමෙරිකානු සෙනට් මණ්ඩලය අමතමින්. 

රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙයෙුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව ගත වන 11 වන දිනය අදයි.