Tuesday, May 21, 2024

General line - 0115112241

රැසියානු යුක්රේන ගැටුම මැද සිදුවන ඔපරේෂන් ගංගා




ආක්‍රමණයේ 10වැනි දිනය අවසන් වන විට රුසියානු හමුදා යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇතැයි රුසියානු RIA ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ප්‍රකාශ කරනවා. රුසියාව සෙනසුරාදා පෙරවරුවේ අර්ධ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ ගිනිකොනදිග යුක්රේනයේ Mariupol සහ Volnovakha හි ජනතාවට නගරවලින් ඉවත් වීමට ඉඩ සලසා දීම සඳහායි.
කෙසේවෙතත්, සෙනසුරාදා පස්වරුවේ යුක්රේන බලධාරීන් කියා සිටියේ නගරයට තවදුරටත් ප්‍රහාර එල්ල වෙමින් පැවතීම නිසා Mariupol හි ඉවත් කිරීමේ උත්සාහය නතර කළ බවයි.
මේ අතර යුක්රේන "ජාතිකවාදීන්" සිවිල් වැසියන් පිටව යාම වලක්වන බවට රුසියාව චෝදනා කරනවා.
රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර වෙත ආසන්න වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව යුද ගැටුම් හේතුවෙන් මේ දක්වා සිවිල් වැසියන් 358 දෙනෙකු මිය ගොස් තිබෙනවා.  
හමුදා ආක්‍රමණයත් සමග යුක්‍රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ රැඳී සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළා. 
ඒ අනුව සිය රට වැසියන් මුදා ගැනීමට සහ නිරුපද්‍රිතව යළි ඉන්දියාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ඔපරේෂන් ගංගා නමින් මෑත ඉතිහාසයේ තවත් එක් දැවැන්ත මානුෂීය මෙහෙයුමක් ඉන්දියාව ආරම්භ කළා.
ගත වූ කාලය තුල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔපරේෂන් ගංගා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචර්ය එස්. ජයිශංකර්, විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් සමග ඉහළ පෙලේ සාකච්ඡා වට තුනක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවලදී තීරණයන්ට එලැඹුණු පරිදි යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන් 20,000 කට ආසන්න පිරිසක් මුදා ගැනීම සඳහා ගුවන් මෙහෙයුම් 80ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිටයි.
කිසිදු බාධාවකින් තොරව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකුට වැඩි අමාත්‍ය කමිටුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබ තිබෙනවා.
මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා පිටත් කර යවනු ලැබුවා.
ඔපරේෂන් ගංගා යටතේ හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලින් පැමිණෙන ඉන්දියානුවන් දිල්ලි සහ මුම්බායි ගුවන් තොටුපළේදී සම්බන්ධීකරණයට තවත් අමාත්‍යවරු පිරිසක් පත් කර තිබෙනවා.
එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වානිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ඔපරේෂන් ගංගා සමග එක්ව සිටිනවා.
වැඩසටහනට සහය දැක්වීම සඳහා පවතින දැඩි අවධානම මධ්‍යයේ වුවත් යුක්රේනයේ කියෙව් හි ඉන්දීය තානාපති කාර්යාලය තවදුරටත් විවෘතව තබා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය කටයුතු කර තිබීම කැපී පෙනෙන කරුණක්.
කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන තානාපති කාර්යාලයේ වැඩි පිරිසක් නැගෙනහිර යුක්රේනයේ ලිවිව් සිට සේවා සැලසීම සිදුකරන බවයි අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බාෂි පැවසුවේ.
ඒ අනුව යුක්රේනයේ සිටින සියලු ඉන්දියානුවන්ට තානාපති කාර්යාලය දැනුවත් කොට ආසන්තම දේශ සීමාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ඉන්දියානුවන් මුදා ගැනීමේ ඔපරේෂන් ගංගා වැඩසටහන ආරම්භ වුණේ පෙබරවාරි 26වනදායි.
මේ වනවිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17  යානා 7ක් ඇතුලු මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම් 43ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දියානුවන් 9364 දෙනෙක් නිරුපද්‍රිතව සිය මව්බිම කරා නැවත පැමිණ තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ රුමේනියානු අගනුවර වන බුකරෙස්ට් සිට මුදා ගැනීමේ ගුවන් ගමන් වාර 35ක් සැලසුම් කර තිබෙනවා.
හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර සිට ගුවන්යානා 28ක් පිටත් වීමට නියමිතයි..
පෝලන්තයේ රෙෂොෆ් සිට ගුවන් ගමන් නවයක් සැලසුම් කර ඇති අතර රුමේනියාවේ සිචාවා වෙතින් ගුවන් ගමන් පහක් සහ ස්ලෝවැකියාවේ කොෂිස වෙතින් ගුවන් ගමන් තුනක් පිටත් වීමට නියමිතයි.
යුක්රේනයේ කාර්කිව් නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ එරට විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉන්දීය සිසුවාගේ මෘත දේහය රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමන් සිටින බව ද  විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බාෂි සඳහන් කළා.
"අපි තවත් ගුවන් ගමන් සැලසුම් කරමින් සිටින අතර ඉදිරි දින 2-3 තුළ ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් නැවත නිවෙස් වෙත එනු ඇති. යුක්රේන රජය සහ අසල්වැසි රටවල් අපගේ ජනතාව භාර ගැනීම ගැන සහ ඔවුන් ඉවත් කිරීමට ලබා දෙන සහය මම අගය කරනවා. ඉන්දියානු ජාතිකයන් ඉවත් කිරීම සඳහා රුසියානු සහ යුක්රේන බලධාරීන් සමඟ සම්බන්ධ වී සමීපව කටයුුතු කරනවා," අරින්දම් බාෂි පැවසුවා.
ඉන්දියානු ජාතිකයන් 20,000ක් පමණ මුලින් ලියාපදිංචි වුණා. නමුත් ලියාපදිංචි නොවූ බොහෝ දෙනෙක් ඉන්නවා. අපගේ ප්‍රමුඛතාවය වන්නේ හැකි ඕනෑම ප්‍රවාහන ක්‍රමයකින් ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පිටතට ගෙන යාමයි, ”ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
“අපි සියලුම රටවල් සමඟ විශේෂයෙන් යුක්රේනය සහ රුසියාව සමඟ විවිධ මට්ටම් සමඟ සම්බන්ධ වී සිටිනවා. අගමැති මෝදි ජනාධිපති පුටින් සමඟ කතා කළා. අපගේ එකම අභිප්‍රාය ඉන්දියානු පුරවැසියන් හැකි ඉක්මනින් පිටතට ගෙන යාමයි. ” විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බාෂි පවසනවා.
ඔපරේෂන් ගංගා වැඩසටහන යටතේ රුසියා - යුක්රේන යුද ගැටුමට මැදි වූ ඉන්දියානුවන් 2,200 දෙනෙක් අද පෙරවරුවේ යළි ඉන්දියාව වෙත ළඟා වීමට නියමිතයි
ඉන් යානා පහක් හංගේරියාවේ බුඩාපෙස්ට්, යානා හතරක් රුමේනියාවේ සිචාවා  සහ යානා දෙකක් පෝලන්තයේ රෙෂොෆ් නගරවලින් පිටත් වනවා.
යුද්ධයට මැදි වූ යුක්රේනයේ වෙසෙන සිය රටවැසියන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන එකම රට ඉන්දියාවයි.