Tuesday, May 14, 2024

General line - 0115112241

හෙටත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් - මණ්ඩලය කියයි -:තවමත් අවසර ඉල්ලා නැතැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්




හෙට දිනයේත් පැය හතහමාරක උපරිම විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා මෙම විදුලි කප්පාදුව සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව E කලාපය සඳහා පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 08 යි 30 දක්වා වූ කාලය තුළ පැය හතහමාරක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.  

ඊට අමතරව F කලාපය සඳහා ද පස්වරු 01 සිට පස්වරු 06 දක්වා සහ රාත්‍රී 08 යි 30 සිට රාත්‍රී 11 දක්වා වූ කාලය තුළ පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. දකුණු සහ සබරගමුව පළාත් මෙන්ම මධ්‍යම, වයඹ සහ බස්නාහිර යන පළාත්වල කොටසක් ද මෙම E සහ F කලාපවලට ඇතුළත්. 

මේ අතර T සහ U කලාප සඳහා පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා මෙන්ම පස්වරු 05 සිට පස්වරු 06 දක්වා පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. 

එමෙන්ම V සහ Wයන කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. R සහ S කලාප සඳහා පස්වරු 01 සිට පස්වරු 03 දක්වා මෙන්ම රාත්‍රී 07 සිට රාත්‍රී 08 දක්වා පැය 03 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

P සහ Q යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 07 දක්වා මෙන්ම රාත්‍රී 08 සිට රාත්‍රී 09 දක්වා මෙලෙස විදුලි කප්පාදුව සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. මෙම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් මෙන්ම මධ්‍යම, වයඹ සහ බස්නාහිර යන පළාත්වල කොටසක්ද අයත්. 

කෙසේවෙතත් මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය මේවනතෙක් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා නොමැති බවයි.