Wednesday, May 15, 2024

General line - 0115112241

කපන්නෑ කියූ විදුලිය යළිත් කපයි




ඉකුත් 5 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට මීට පෙර ප්‍රකාශ කළද ඊයේ මෙන්ම අද දිනයේද විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා. 

හිටපු විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේද ඉකුත් සතියේ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ මාර්තු 5් වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි. එහෙත් අද දිනයේ පැය හත හමාරක උපරිම කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි  මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදි ඇත්තේ. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව E කලාපය සඳහා පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 08 යි 30 දක්වා වූ කාලය තුළ පැය හත හමාරක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.  

ඊට අමතරව F කලාපය සඳහා ද පස්වරු 01 සිට පස්වරු 06 දක්වා සහ රාත්‍රී 08 යි 30 සිට රාත්‍රී 11 දක්වා වූ කාලය තුළ පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. දකුණු සහ සබරගමුව පළාත් මෙන්ම මධ්‍යම, වයඹ සහ බස්නාහිර යන පළාත්වල කොටසක් ද මෙම E සහ F කලාපවලට ඇතුළත්. 

මේ අතර T සහ U කලාප සඳහා පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා මෙන්ම පස්වරු 05 සිට පස්වරු 06 දක්වා පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. 

එමෙන්ම V සහ W යන කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. R සහ S කලාප සඳහා පස්වරු 01 සිට පස්වරු 03 දක්වා මෙන්ම රාත්‍රී 07 සිට රාත්‍රී 08 දක්වා පැය 03 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

P සහ Q යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 07 දක්වා මෙන්ම රාත්‍රී 08 සිට රාත්‍රී 09 දක්වා මෙලෙස විදුලි කප්පාදුව සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. මෙම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් මෙන්ම මධ්‍යම, වයඹ සහ බස්නාහිර යන පළාත්වල කොටසක්ද අයත්.