Thursday, May 16, 2024

General line - 0115112241

බූලි සහ කෑන්වලට ඉන්ධන දීම නතර කෙරේ




වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක විසින්. 

ඒ අනුව එම නීතියට පටහැනිව ක්‍රියා කරන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා ඇත්තේ. එමෙන්ම එලෙස ඉන්ධන බෙදාහරින පුද්ගලයින්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලකවරයා දැනුම්දී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ පැවසුවේ මේ වන විට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවයි. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,300 ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවකින් ඩීසල් ගොඩබෑම ආරම්භ කළ අතර තවත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක් ඇතුලත් නෞකාවක් තවමත් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇත්තේ මේ දක්වා ඊට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන්. තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිතයි. ඊට මුදල් ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එහෙත් ඊයේ රාත්‍රියේත්, අද පෙරවරුවේත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝළිම් දක්නට ලැබුණා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසීමක් කළා.

ජනතාව මුහුණදෙන අසීරුතාව සහ දේශපාලඥයින් සංවේදී නොවීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්ණ කළා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ගෑස් ලබාගැනීමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් පෝළිම් ද අදත් දක්නට ලැබුණු බවයි.