Friday, May 17, 2024

General line - 0115112241

ජනතාව තවමත් ඉන්ධන පෝලිම් වල




රට තුළ ඉන්ධන තොග ඇති බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළද අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා. ප්‍රමාණවත් ඩීසල් තොග නොමැතිවීම හේතුවෙන් පෝළිම්වල සිටි ඇතැම් පිරිස්වලට ආපසු හැරී යාමට පවා සිදුවූ අවස්ථා අදත් වාර්තා වුණා.

කෙසේවෙතත් පෝළිම්වල සිටින ජනතාවගෙන් බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා අද මෙවන් ඉල්ලීමක් සිදුකළා.

මේ අතර මාස අටක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව මාර්තු පළමුවැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා මාස අටක කාලයකට අවශ්‍ය ඩීසල් ලබාගනු ඇති. ජුනි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ද මෙම සමාගම වෙත පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇති විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ද හිමිව ඇත්තේ.

ඩීසල් මෙන්ම ගෑස් ලබාගැනීමේ අරමුණින් ද අදත් බොහෝ පිරිස්වලට සිදුවූයේ පෝළිම්වල රැදී සිටීමටයි.

මෙරටට ගෑස් රැගෙන ආ නෞකා දෙකක් දින 10 ක් තිස්සේ තවමත් ඇත්තේ මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලාගෙනයි. ඒ, නියමිත ඩොලර් මෙතෙක් නොගෙවීම හේතුවෙන්. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම එක් නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18,000 ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවයි.