Thursday, April 25, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරයි




යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගනිමින්, මෙරට පුරෝගාමී රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගැනීමට සමත් වී තිබේ. ප්‍රධාන අංශ කිහිපයක් සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ක්ෂේත්‍රයේ සාමාන්‍ය නව ව්‍යාපාර වර්ධනයේ (Regular New Business Growth) සාමාන්‍ය අගය වූ 29% ට සාපේක්ෂව 45% ක වර්ධනයක් වාර්තා කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රධානතම සමාගම් 5 අතර ඉහළම නව ව්‍යාපාර වර්ධන ප්‍රතිශතයක් වාර්තා කරගැනීමට මෙන්ම, ක්ෂේත්‍රයේ සියලුම සමාගම් අතරින් දෙවැනි විශාලතම සාමාන්‍ය නව ව්‍යාපාර මට්ටම වාර්තා කරගැනීමටද සමාගම සමත් වී තිබේ.  

2021 වසරේදී Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලාභීන් 300 කට වැඩි පිරිසක් වාර්තා කිරීමටද යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වූ අතර, එය ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගමක් එක් වසරකදී වාර්තා කළ වැඩිම MDRT සුදුසුකම් ලාභීන් සංඛ්‍යාව විය. COVID-19 හේතුවෙන් ආර්ථික හා සමාජයීය අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වූ 2021 වසර තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකියාව ලැබීම සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් සතුට පළකරමින් අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකිරීම ඉලක්ක කරගත් ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම නිසා මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමාගමට හැකියාව ලැබුණු බවයි.

“පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමෝපායක් ඔස්සේ, කාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සහ ඉහළම තලයේ ඩිජිටල් අත්දැකීමක් සහතික කරමින්, ශ්‍රී ලාංකික සිහිනය සැබෑ කරලීමට අත්වැලක් වන ආකාරයේ නිර්මාණශීලී විසඳුම් ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීම නිසා මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට අපට හැකියාව ලැබුණා. අපගේ කාර්ය මණ්ඩලය, නියෝජිතයන්, උපදේශකවරුන්, සහ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් සියලුම දෙනා මේ සාර්ථකත්වය උදෙසා ලබාදුන් දායකත්වය ප්‍රශංසනීයයි. එමෙන්ම අප කෙරෙහි විශ්වාසය තබමින් අපගේ ඉදිරි ගමනට අත්වැලක් වූ ගනුදෙනුකරුවන්ටත් අපගේ කෘතඥතාව හිමිවනවා. මේ සාර්ථක ප්‍රතිඵල අපගේ අනාගත වර්ධනයට මනා අඩිතාලමක් වේවි. මේ ඔස්සේ රටේ රැකවරණ පරතරය අවම කරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත තවදුරටත් සවිබල ගැන්වීමට අපට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

2021 වසරේදී සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක්ම සනිටුහන් කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමත් විය. පෙර වසරේදී රු. බිලියන 13 ක් වූ දළ වාරික ආදායම (Gross Written Premium - GWP) අගය, මෙම සමාලෝචනයට අදාළ වසරේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 15 ඉක්මවා තිබේ. සාමාන්‍ය නව ව්‍යාපාර වාරික (Regular New Business Premiums) මට්ටම පෙර වසරේදී වාර්තා වූ රු. බිලියන 3.1 ට සාපේක්ෂව මෙම සමාලෝචනයට අදාළ වසරේදී රු. බිලියන 4.4 දක්වා වර්ධනය වී ඇති අතර, ආයෝජන ආදායම රු. බිලියන 5 ඉක්මවා ඇත. සමස්ත ශුද්ධ ආදායම පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 17.4 ට සාපේක්ෂව රු. බිලියන 20.6 දක්වා වර්ධනය වී ඇති අතර, මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබුණු ශුද්ධ මුදල් ප්‍රවාහය රු. බිලියන 8.3 සිට රු. බිලියන 9.3 දක්වා වර්ධනය වී තිබේ.

“ලාභදායීත්වය අතින් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරගැනීමට අපට හැකි වුණා. පෙර වසරේදී රු. බිලියන 1.8 ක් වූ බදු-පෙර ලාභය, 2021 වසරේදී 46% කින් වර්ධනය වී රු. බිලියන 2.6 ක් බවට පත්වී තිබෙනවා. බදු-පසු ලාභයත් රු. මිලියන 921 සිට රු. බිලියන 2.1 දක්වා 123% ක් වැනි විශාල ප්‍රතිශතයකින් වර්ධනය වී තිබීම විශේෂත්වයක්. දළ වාරික ආදායම සහ ආයෝජන ආදායම වර්ධනය වීම, වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීම සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම යනාදිය නිසා අපට මේ සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකි වූවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය.

පසුගිය වසරේදී රු. බිලියන 63 ක් වූ සමාගමේ තැන්පතු පදනම මෙම වසරේදී රු. බිලියන 71 දක්වා 13% කින් වර්ධනය වී තිබීම, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වයට මනා සාක්ෂියකි. කළමනාකරණය යටතේ පවතින වත්කම් පසුගිය වසරේදී රු. බිලියන 52 ක් වූ අතර, මෙම වසරේදී එය රු. බිලියන 59 දක්වා කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ. මේ අතර, කොටස් හිමිකරුවන් සතු කොටස් වල වටිනාකම රු. බිලියන 15.4 ක් වීම, සමාගමේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ස්ථාවර වීමට හේතුවක් වී ඇත.

මේ අතර යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ අරමුදලද විශාල වශයෙන් වර්ධනය වී තිබේ. පසුගිය වසරේදී රු. බිලියන 42.9 ක් වූ එය, ජීවිත රක්ෂණ සේවා එකතුවේ වර්ධනයත් සමග රු. බිලියන 49.8 දක්වා වර්ධනය වී ඇත. අභියෝග හමුවේ වුවද සමාගම සිය ප්‍රතිඥාව ඉටුකරමින්, 2021 වසර සඳහා රක්ෂණ හිමියන්ට 8% ක් ලාභාංශ ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්කළේ ය. මීට අමතරව කොටස් හිමියන් වෙනුවෙන් වූ තම යුතුකම් ඉටුකරමින්, 2021 වසරේ ප්‍රථම සහ අවසාන ලාභාංශ ගෙවීම ලෙස කොටසක් සඳහා රු. 22 ක ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත්කරන ලදි.

තවද යූනියන් ඇෂුවරන්ස් සමාගම වාර්ෂික නව ව්‍යාපාර වාරික මට්ටම අතින් රු. බිලියන 1 සීමාව පසුකර යමින්, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වීමට සමත් විය. එමෙන්ම වැඩිම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයන් සංඛ්‍යාවක් වාර්තා කරගනිමින්, තිරසාර වර්ධනයක් සඳහා තවත් ඉදිරි පියවරක් තැබීමටද සමාගමට හැකියාව ලැබිණි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී හඳුන්වා දීමක් වූ Clicklife ඩිජිටල් සේවාව මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළිකාරී වෙනස්කම් රැසක් සිදුකිරීමට මුල්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රමවේදයන් වෙනස් කරමින්, රක්ෂණ මිලදී ගැනීම, රක්ෂණ සම්බන්ධ සේවාවන් ලබාගැනීම සහ හිමිකම් මුදල් ඉල්ලීම යනාදිය සඳහා මෙන්ම, සෞඛ්‍ය හා ජීවන රටා සේවාවන් සඳහා පරිපූර්ණ ඩිජිටල් පදනමක් නිර්මණය කිරීමට Clicklife සමත් විය.

මානව සම්පත් සංවර්ධනය සඳහාද සමාගම මහා පරිමාණ ආයෝජනයන් සිදුකර තිබේ. තම සාමාජික සාමාජිකාවන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය දියුණුවට අවස්ථාව සලසා දීමට නිරන්තරයෙන් කටයුතු කිරීම, සමාගමේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධකයක් බවට පත්වී ඇත.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමේ හැකියාව යූනියන් ඇෂුවරන්ස් සමාගම සතු ය. ඉදිරියටත් බෙදාහැරීම් නාලිකා විවිධාංගීකරණය කිරීම, බැංකු රක්ෂණ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම, නිර්මාණශීලී රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සහ තම පෙරළිකාරී ඩිජිටල් තාක්ෂණයන් වැඩිදියුණු කිරීම යනාදිය සඳහා සමාගම දැඩි අවධානයක් යොමුකරනු ඇත.