Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු 109 කට උත්තර බදින්න මෛත්‍රී ඇතුලු පිරිසකට අධිකරණයෙන් අවසන් දින දෙයි




පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් හා සදාකාලික ආබාධිත වූවන් විසින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 109 ක් සම්බන්ධයෙන් උත්තර ගොනු කිරීම සඳහා එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් වෙත අද කොළඹ දිසා අධිකරණය විසින් අවසන් වරට දින ලබා දුන්නා. 

ඒ, කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එම නඩුවට අදාළ උත්තර අද දිනයේ ගොණු කිරීමට නියමිතව තිබුණද විත්තිකරුවන් විසින් ඒවා ගොණුකර තිබුණේ නැහැ.

 ඒ අනුව අදාල උත්තර මැයි මස 02 වනදා ගොණු කරන ලෙස දන්වමින් අතිරේක දිසා විනිසුරුවරිය විසින් අවසන් වරට වගඋත්තරකරුවන් වෙත දින ලබා දුන්නා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා මෙම නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම මෙරට ජාතික ආරක්ෂාවේ දැවැන්ත බිඳ වැටීමක් බවත්, ඊට එම වකවානුවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වගකිවයුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදීයි. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම් විභාගය අද පැවැත්වුණේ තුන්වන දිනටයි. 

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරුවන් අහිමි වූ පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු  පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණු අතර වැඩිදුර පෙත්සම් විභාගය ලබන 18 වනදා තෙක් කල් දැමුණා.