Friday, May 17, 2024

General line - 0115112241

හෙට විදුලිය කැපෙන කාලය අඩුවෙයි




හෙට දිනයේ විදුලි කප්පාදුවේ වෙනසක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට දිනයේදී උපරිම වශයෙන් පැය 03 යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

එම සැලසුමට අනුව A සිට L දක්වා කලාපවලට උදෑසන 09 ත් සවස 05 ත් අතර පැය දෙකක කාලයක් සහ සවස 05 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. P සිට W දක්වා කලාපවලට සවස 03 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය දෙක බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

මේ අතර අද උදෑසන 08 සිට රාත්‍රී 11 දක්වා කාලසීමාවේදී කලාප වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනවා. තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි පද්ධතිය බිදවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා.

මේ අතර ගෑස් සහ ඉන්ධන ලබාගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් දිගු පෝළිම් දක්නට ලැබුණා. එලෙස ඉන්ධන පෝලිම්වල රැදී සිටි කිහිපදෙනෙකු තමන් මුහුණපා සිටින දුෂ්කරතා පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

බෙදාහරිනන් සතුව ඉතිරිව තිබුණු සීමිත ගෑස් තොග ප්‍රදේශ කිහිපයක අලෙවි නියෝජිතයින් වෙත අද දිනයේ බෙදා හැරුනු අතර ඇතැම් ස්ථානවල ඒවා නිකුත් කෙරුණේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි. 

මේ අතර ගෑස් සිලින්ඩර සගවාගෙන සිටි ඇහැළියගොඩ ප්‍රදේශයේ අලෙවි නියෝජිත ස්ථානයක් රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා. එහිදී ගෑස් අඩංගු සිලින්ඩර් 400 ක් සොයාගැණුනු බවයි පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසුවේ.

එම සිලින්ඩර් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම එම අවස්ථාවේදීම සිදු කෙරුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි. තොග සගවාගෙන සිටි අලෙවි නියෝජිතවරයාට එරෙහිව නඩු පැවරීමට ද නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 

මේ අතර ලිටේ්‍රා් සමාගම සතු ගෑස් අඩංගු ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. දිවයින ආසන්න මුහුදු සීමාවේ ගෑස් රැගෙන පැමිණි නෞකාවක් දින ගණනාවක සිට නැංගුරම්ලා තිබුණද ඩොලර් හිඟය හේතුවෙන් එය තවමත් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී නැහැ.