Thursday, May 16, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතන සිදුකර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධින් දෙකක්




මනුෂ්‍ය ඝාතන සිදු කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් දෙකක් සීදූව සහ මාලඹේ පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. 

ඊයේ උදෑසන කාලයේදී මාළඹේ තලාහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් බැද දමා ඇගේ ස්වාමී පුරුෂයා ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාළඹේ පොලිස් ස්ථානය මඟින් විමර්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 80 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රන් භාණ්ඩ කොල්ලකෑමේ තවත් සිද්ධියක් ඊයේ අලුයම් කාලයේදී සීදූව - මූකලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනව. ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර රන් මාල කොල්ලකෑමේ සිදධීන් ගණනාවකට සම්බන්ධ කණ්ඩායමක සාමාජිකයින් 06 දෙනෙකු රාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

සැකකරුවන් විසින් සිදුකළ රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් 09 කට සම්බන්ධ ග්‍රෑම් 34 ක් බරැති රත්රන් ගුලි 05 ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

මේ අතර සුපිරි වෙළඳසැල් බිඳ, දේපල සොරකම් කිරීමේ සිද්ධීන් 14 කට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගල්කිස්ස පොලිස් වසමේ බෝදියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්.

සැකකරුවන් විසින් කිරිබත්ගොඩ, දෙල්ගොඩ, ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, මහරගම, බම්බලපිටිය, වැලිකඩ හා බණ්ඩාරගම යන පොලිස් වසම්වල පිහිටි සුපිරි වෙළඳසැල් එලෙස බිඳ ඇති බවයි අනාවරණය වී ඇත්තේ. 

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 100 ක්, සොරකම් කළ භාණ්ඩ විකිණීමෙන් ලබාගත් රුපියල් එක් ලක්ෂ 62,600 ක මුදලක් සහ ත්‍රීරෝද රථ දෙකක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇති බවටයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.