Tuesday, May 21, 2024

General line - 0115112241

නිමාවක් නැති පෝලිම් අර්බුදය




ඉන්ධන, ගෑස් මෙන්ම කලක සිට පවතින විදුලි අර්බුධයටද මෙතෙක් ස්ථිර විසදුමක් ලැබී නැහැ. ඒ අනුව දිවයින පුරා කලාප 12කට පැය 03යි විනාඩි 15ක කාලයක් සහ කලාප 08කට පැය 02ක කාලයක් අද දිනයේද විදුලිය විසන්ධි කෙරෙනවා. එය රාත්‍රී 11 තෙක් ක්‍රියාත්මකයි. 

මේ අතර බොහෝ නිවාසවල, ආයතනවල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේ දී ඒවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

එමෙන්ම මෙලෙස සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවා. 

මේ අතර ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.