Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන සොයා පොහොය දවසේත් ජනතාව පෝළිමේ




පොහොය දිනයක් වුවත් අදත් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝළිම් දක්නට ලැබුණා. දින ගණනාවක් ඩීසල් පෝලිම් පැවතියත් ඊයේ සහ අද වැඩි වශයෙන් දක්නට ලැබුවේ පෙට්‍රල් පෝළිම්. ඒ, රට තුල සතියකට ප්‍රමාණවත් පෙට්‍රල් තොග තිබෙන බවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා ඉකුත් අඟහරුවාදා ප්‍රකාශ කර තිබූ පසුබිමකයි. 

පවතින තත්තවය සම්බන්ධයෙන් නෙත් නිවුස් අදත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගාගෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ රට තුළ කිසිදු පෙට්‍රල් හිඟයක් නොමැති බවයි. 

එහෙත් අද දිනයේ යම් පෙට්‍රල් හිඟයක් තිබිය හැකි බවත් ඊට හේතුව බවුසර් රථ හිමිකරුවන්ගේ වර්ජනය හේතුවෙන් පෙට්‍රල් බෙදාහැරීම අඩාල වීම බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර අද දිනයේ මෙන්ම ඊයේ දිනයේද ඉන්ධන පෝලිම් අසළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට තොරතුරු ඩවාර්ථා වනවා. මේ කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම්හලක් අසල ඇති වූ තත්ත්වයයි. 

මේ, හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම්හලක් අසල ඇති වූ තත්ත්වයයි. 

මේ අතර ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙටි්‍රක් ටොන් 20,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් එම නෞකාවේ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් මෙතෙක් සිදුකර නැහැ. 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ දැනට තමන් සතුව පවතින ඩීසල් තොගය සාමාන්‍ය පරිභෝජන තත්ත්වයක් යටතේ ලබන සඳුදා පස්වරුව තෙක් ප්‍රමාණවත් බවයි. ඩීසල් හිඟයක් මතුවීම වැළැක්වීම සඳහා මෙම කාල සීමාව තුළ ජනතාව අනවශ්‍ය ලෙස ඩීසල් රැස්කර තබා ගැනීමෙන් වැලකී සිටීම අවශ්‍ය බවද එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත වැඩි දුරටත් කියා සිටියා.