Thursday, May 16, 2024

General line - 0115112241

අවශ්‍ය මොහොතේ දී අත අත්නොහරින කලණ මිතුරු ඉන්දියාව




ශ්‍රී ලංකාව එදා මෙදා තුර ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටිනවා. 

මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය මාස කිහිපය තුළ දෙගුණ තෙගුණ වී තිබෙන අතර තුන්වේල ආහාර ගත් ඇතැමුන්ට මේ වන විට එය එක්වේලකට සීමා කිරීමට සිදුව තිබීම කණගාටුවට කරුණක්. 

මේ අතර ශ්‍රි ලංකා මහ බැංකුව  පසුගියදා නිවේදනය කලේ මෙරට විදෙස් සංචිත ප්‍රමාණයද මේ වන විට තවදුරටත් පහත වැටී ඇති බවයි. 

ඒ අනුව 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට මෙරට පැවති  ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක්   වූ විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක් දක්වා පහත වැටී තිබෙනවා. 

මෙරට රන් සංචිතයේ වටිනාකම ද පෙබරවාරි මස අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 97.7ක් දක්වා පහත වැටී තිබෙන්නේ ඒ අනුවයි. 

මීට අමතරව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිලද මේ වන විට රුපියල් 265 සීමාව ඉක්මවා ඇත්තේ මෙරට ආර්ථික පරිහානියේ තරම ලොවට කියා පාමින්.
මේ අතර රටපුරා මේ වන විට ඇති ඩීසල්,පෙට්‍රල්,භූමිතෙල්, කිරිපිටි පෝලිම් වලින්ද මෙරට ආර්ථිකයේ අදුරු පැතිකඩ පෙන්නුම් වනවා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අයහපත් ආර්ථික වටපිටාවෙන් මිදී යන්තමින් හෝ හිස එසවීමට නම් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ක්‍රමිකව ඉහළ නංවා ගැනීම අත්‍යන්තයෙන්ම කළ යුත්තක්. 

මෙවරත් ඒ සදහා ශ්‍රී ලංකාවට කළණ මිතුරෙකු ලෙසින් උපකාර කිරීමට අසල්වැසි ඉන්දියාව මේ වන විටත් නොපැකිලව ඉදිරිපත්ව සිටීම පැසසිය යුත්තක්. 

ඒ අනුව ශ්‍රී ලංකා මුදල් ඇමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන්ගේ ඉන්දීය සංචාරය අතරතුරදී මාර්තු මස 17 වැනිදා ඉන්දියාව විසින් මෙරටට ලබා දෙන අමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුම සදහා අත්සන් තැබුණා. 

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසුවේ ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශ්‍රී පුෂ්කර් ජා , ගිවිසුමට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබූ බවයි. 

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද එම අවස්ථාවට එක්ව සිටියා. 

මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි. 

එය මෙරට මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩිත පන්තියේ ජනතාවට කුසගින්නේ මියැදෙන්නට ඇති අවස්ථාව වළක්වාලීමට මනා පිටිවහලක් වනු නොඅනුමානයි. 

මීට අමතරව ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා. 

ඒ, මීට පෙර ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දිය රජයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 500ට අමතරවයි.   

මෙම ණය ආධාරය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසන්නේ මේ අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එකට සිටින බවයි. 

ණය ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග එරට මුදල් අමාත්‍යාංශයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වුණා. 

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් දෙරට අතර කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ආර්ථික සහයෝගීතාව සඳහා රාමුවක් සැකසීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්. 

මෙම අරමුණ ඇතිව අමාත්‍යවරුන් තිදෙනා නිරන්තරයෙන් සම්බන්ධ වීමට එකඟ වූ අතර, නිරන්තර සංවාදයක් පවත්වා ගැනීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද පිහිටුවා තිබෙනවා. 

මෙම හමුවන් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූකා කදුරුගමුව යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා. 

මෙම හමුවන්ට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දියාවේ විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං හමුවී බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට මාර්ග සහ විධික්‍රම පිළිබදවද සාකච්ඡා කළා. 

විදෙස් වාර්තා වල දක්වෙන්නේ එමගින් මෙරට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම ව්‍යාප්ත කිරීම පිළිබදව මෙරටට නව බලාපොරොත්තු ඇති කර ගත හැකි බවයි. 

මෙම සංචාරය අතරතුර ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය ඒ.නාගේෂ්වරන් මහතා ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී මෙරට ආර්ථික අභියෝගයන් හා ඊට මුහුණ දීම සදහා ඉන්දීය රජයේ ඉදිරි සහයෝගය පිළිබදව අවධානය යොමුවී තිබෙනවා. 

අසල්වැසි ඉන්දියාව මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට මෙන්ම මෙරට නව සංවර්ධන ව්‍යාපෘති සදහා ද ලොව වෙන කවර රටකටත් වඩා ඉහළ දායකත්වයක් මෑත කාලයේ ශ්‍රීලංකාව වෙත ලබා දී තිබෙනවා. 

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මහා විදුලි බල ව්‍යාපෘති දෙකක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබීම ඊට උදාහරණ සපයනවා. 

මීට අමතරව කොළඹ වරායේ බටහිර  පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ද ඉන්දියාවේ අදානි සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට එකගතාවට පැමිණ අවසන්. 

අවබෝධතා ගිවිසුමේ තොරතුරු හෙළි කරමින් ශ්‍රී ලංකාවේ සති අන්ත පුවත්පතක්  වාර්තා කර තිබුණේ  Adani සමූහයට සම්බන්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙක මගින් ඩොලර් මිලියන 500 ක වියදමින් මෙගාවොට් 500 ක ඒකාබද්ධ ධාරිතාවක් ජනනය කිරීම අරමුණු කරගෙන ඇති බවයි. 

Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිවයින තුළ කළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කර මාස කිහිපයකට පසුව මේ පිලිබදව අණාවරනය වී තිබෙනවා. 

ඉන්දු -ශ්‍රි ලංකා සබඳතා පිළිබඳ කවුරුන් විවේචන එල්ල කළත් අවසානයේ මෙරට ජනතාව තේරුම් ගත යුතු කරුණු කිහිපයක් වනවා, එනම් ශ්‍රී ලංකාව මේ වන විට නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින අතර තත්ත්වය මෙසේ පැවතුනහොත් එළැඹෙන අවුරුදු මාසයේදී ජනතාවට අවුරුදු කෑම කෙසේ වෙතත්,  බඩගින්නේ මියැදෙන්නට සිදුවීම නම් සිදුවිය හැක්කක්.


ඩොලර් බිලියන ගනන් සිය සංචිත තරකරගෙන සිටින බටහිර රටවල් ශ්‍රී ලංකාව දෙස නොදුටු දෑසින් පසුවෙද්දී ලගම අසල්වැසියා මෙන්ම කළණ මිතුරා ලෙසින් ඉන්දියාව අපවෙත දිගුකරන මෙම මිතුදමේ දෑත් බුදුන් කල සිටම දෙරට අතර පැවති සබඳතාව මැනවින් මෙරට වැසියන්ට පසක් කර දෙනවා.