Thursday, May 16, 2024

General line - 0115112241

යුක්රේනයේ හමුදා බැරැක්කයකට ගුවන් ප්‍රහාර - දිවිබේරාගත්තවුන් සොයා පැය 30 ක මෙහෙයුමක්




යුක්රේනයේ මයිකොලයිව් ප්‍රදේශයේ පිහිටි හමුදා බැරැක්කයක් ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සොල්දාදුවන් නිදා සිටි අවස්ථාවකදී බැරැක්කය වෙත රුසියානු ගුවන් ප්‍රහාර 03 ක් එල්ල වී ඇති බවයි. එම අවස්ථාවේදී සොල්දාදුවන් 200 ක් පමණ බැරැක්කය තුළ සිට ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ප්‍රහාරයෙන් කොපමණ පිරිසක් මියගොස් ඇති ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නැහැ. ප්‍රහාරවලින් තුවාල ලැබූවන් 57 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ප්‍රහාරයෙන් හමුදා බැරැක්කය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

ප්‍රහාරය එල්ල වී පැය 30 ක් ගතවන තුරුත් සහන සේවකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඊයේ රාත්‍රිය වනවිට මයිකොලයිව් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 6 ක් පමණ වුණා. එවන් අධික ශීත කාලගුණයක් පවතින තත්ත්වයක සුන්බුන් අතර හෝ දිවිබේරා ගත් පුද්ගලයෙකු නොසිටිනු ඇති බවටයි සහන සේවකයින් සැක පළ කරන්නේ. 

කෙසේවෙතත් යුක්රේන බලධාරීන් චෝදනා කළේ සොල්දාදුවන් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරය රුසියාවේ බියගුළු ක්‍රියාවක් බවයි. යුද්ධය නතර කිරීමට රුසියාව පියවර නොගතහොත් එයින් සිදුවන හානියෙන් බේරීම සඳහා රුසියාවට පරම්පරා කිහිපයක් ගතවනු ඇති බවයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ.