යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ යුක්රේනයේ ආර්ථිකය සියයට 45කින් කඩා වැටෙනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා. ඒ, රුසියානු ආක්‍රමණය මෙතෙක් අවසන් නොවීම හේතුවෙන්. යුක්රේනයේ ශ්‍රම බලකායෙන් බොහෝ දෙනෙකුට රටින් පලා යාමට හෝ සටන් කිරීමට බල කර ඇති බවද, එය ආර්ථිකයට බලපාන බවද ලෝක බැංකුව පවසනවා.
මේ වන විටත් යුක්රේනයේ ව්‍යාපාර රැසක් වසා දමා අවසන්. මාර්ග, කර්මාන්තශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් ද විනාශ වී තිබෙනවා. ඒ අනුව යුක්රේනයේ වසර ගණනාවක ප්‍රගතිය අවලංගු වී ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ.
යුක්රේනය, සූරියකාන්ත සහ තිරිඟු වැනි භෝග ප්‍රධාන වශයෙන් අපනයනය කරන රටක් වුවත් අපනයනය නතර වීමත් සමඟ ගෝලීය ආහාර මිල ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවද යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුක්රේනයට එම වැදගත් ඉපැයීම් මාර්ගය ද අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසනවා.
ලෝක බැංකුව පැවසුවේ පෙර නොවූ විරූ සම්බාධක හේතුවෙන් රුසියාවේ ද ආර්ථිකය දැඩි අවපාතයකට තුඩු දෙනු ඇති බවයි. එය නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව පුරා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වූවාට වඩා විශාල ආර්ථික හානියක් වනු ඇති බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ. රුසියාවට එරෙහි සම්බාධක හේතුවෙන් මේ වසරේ ආර්ථිකය සියයට 11ට වඩා වැඩි අගයකින් කඩා වැටෙනු ඇති බව ලෝක බැංකුවේ පුරෝකථනයයි.