Sunday, May 12, 2024

General line - 0115112241

රඹුක්කන සිද්ධියේ පරීක්ෂණ CID යට

එම් බී පහලවත්ත




රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 19වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්්‍ය පොලිස්පති ඩබ් තිලකරත්න වෙත නියම කර තිබෙනවා. ඒ, නීතිවිරෝධී ජන රාශියක් විසුරුවාහැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම ද සැලකිල්ලට ගනිමින්. 

එම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබාදෙන ලෙසයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි චමින්ද ලක්ෂාන් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී හෙට සිදු කිරීමට නියමිතයි. 

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙස පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති අතර ලබන සෙනසුරාදා දක්වා දේවාලේගම, රඔුක්කන සහ කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලබාගනු ඇති.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ “බී” වාර්තාවේ සඳහන්ව තිබූ වගන්ති කීපයක් “ටීපෙක්ස්” දියර යොදා මැකීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ සමාව ඉල්ලා තිබෙනවා. 

උද්ඝෝෂණයක් අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලවලට අලාභහානි කිරීම  සම්බන්ධයෙන්  පොලිසිය විසින් “බී”  වාර්තා දෙකක්  මගින් කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත ඊයේ කරුණු වාර්තා කළා. ඒ අතරින් එක් “බී” වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු 18ක පාසල් සිසුවෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලු චෝදනා කිහිපයක් යටතේ කරුණු වාර්තා කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

කෙසේවෙතත් අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය මෙහිදී අධිකරණයෙන් සමාව අයැද සිට තිබෙනවා.

මේ අතර රඹුක්කන ප්‍රදේශයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ කෑගල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයාටයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට, අධිකරණ කටයුතු සඳහා සහභාගිවීමට හැකිවන ලෙස අදාළ ස්ථාන මාරුවීම්  සිදුකළ බවයි.