Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් වැසේ - රට පුරා අදත් පෝළිම්




ඉන්ධන, ගෑස් හිඟය මෙන්ම ජීවන වියදම ඉහළ යාම හා වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, අනුරාධපුරය, බෙලිඅත්ත, ගාල්ල, මාතර, මහියංගනය, හාලිඇළ, නොච්චියාගම සහ මොණරාගල ඒ අතරින් කිහිපයක්. 

ටිපර් රථ රියදුරන් පිරිසක් අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගය වතුගෙදර ප්‍රදේශයෙන් අවහිර කරමින් ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරතවූයේ ඉන්ධන මිල ඉහළ යාමට විරුද්ධවයි. බදුල්ල - පස්සර තුනේ කණුව ප්‍රදේශයේ ජනතාව ද ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව අද විරෝධතාවයේ නිරත වුණා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දමා තිබෙනු ද එහිදී දැකගත හැකි වුණා. අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. 

ඒ, ඉන්ධන හිගයට විරෝධය පළ කරමින්. එම ප්‍රදේශයේ පිහිටි පිරවුම්හලකට ලැබුනු ඉන්ධන ප්‍රමාණය අවසන් වූ පසු ඉන්ධන නොලැබුණු පෝළිම්වල සිටි ජනතාව මහා මාර්ගය හරස් කරමින් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වුණා.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද ජනතාවගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි. 

ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වන උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් මාර්ගවල ගමන් කරන ජනතාවට අපහසු වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර 13 වන දිනටත් ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධය මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ වන විටත් විශාල පිරිසක් විරෝධතාවයට පැමිණ සිටින බවයි එහි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
චන්ද්‍රරත්න ඉලංගකෝන්,