Saturday, May 11, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ උත්තරය ප්‍රමාද වීමෙන් රාජ්‍ය බිඳ වැටේවි - විශේෂඥයින් අනතුරු අඟවයි




මේ වන විට රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුවෙන් ඉතා කඩිනමින් විසදුමක් ලබාගත යුතු බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එසේ නොවුනහොත් වත්මන් අර්බුදය තවත් උත්සන්න වනවා සේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද ජනතාවට ඇති විශ්වාසය ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ. 

රට තුළ ආර්ථික හා දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක දින ගණනක් පාර්ලිමේන්තුව රැස්වුවද මේ දක්වා ඊට නිසි විසදුමක් ලබාදීමට හැකිවී නැහැ. බාහිරෙන් එන පීඩනය හමුවේ රාජ්‍ය කඩානොවැටී පවත්වාගැනීමේ වගකීම පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද පැවරෙන බවයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා ඒකකයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්්‍ය අතුලසිරි සමරකෝන් පැවසුවේ.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී වුවද දේශපාලනඥයින් පුද්ගලික වාසි වෙනුවෙන් කටයුතු නොකළ යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ.


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා ඒකකයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්්‍ය අතුලසිරි සමරකෝන් පැවසුවේ අර්බුදයට විසදුම් නොසොයා යම් හෙයකින් රාජ්‍ය කඩා වැටුණහොත් කිසිවෙකුටත් දේශපාලනය කිරීමට හෝ අවස්ථාවක් නොමැති වන බවයි.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව ද දිගින් දිගටම අවධාරණය කරන්නේ රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුම් ලැබිය යුතු බවයි. එලෙස විසදුමක් ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයෙක් වැඩසටහන් සදහා සම්බන්ධ කර නොගැනීමටයි නෙත් එෆ් එම් රේඩියෝව තීරණය කර ඇත්තේ. සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතනයක් ලෙස මෙම තීරණය ගනු ලැබූ මෙරට පළමු මාධ්‍ය ආයතනය නෙත් එෆ් එම් රේඩියෝවයි.