Sunday, May 12, 2024

General line - 0115112241

පොලිස්පතිවරයාගේ කීර්තිනාමයට හානි කරන්න උත්සාහ කරන පොලිස් නිලධාරියෙකු ගැන තොරතුරු වාර්තා වෙයි




පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපකීර්තියට පත්වන ආකාරයෙන් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රචාර පතුරුවා හරින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගියදා රඹුක්කන පැවැති මහජන විරෝධතාවයේදී සිදුවූ ඇතැම් සිදුවීම්වලට ද පොලිස්පතිවරයා සම්බන්ධ කිරීමට මෙම උසස් පොලිස් නිලධාරියා උත්සහ කරමින් සිටින බවටයි වාර්තා වන්නේ. 

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද මෙම උසස් පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම ඇතැම් දේශපාලනඥයින් සමගින් සමීප සම්බන්ධතා පවත්වන මෙම නිලධාරියාට, නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. 

එමෙන්ම යුද්ධ හමුදාවට අනියුක්තව සේවය කරන, ජනාධිපතිවරයාට සමීප ආරක්ෂක ප්‍රධානීන් සමග ද ඔහු සමීපව ඇසුරු කරන බව ද එසේ සිදුකරන්නේ තමාට යම් ආරක්ෂාවක් සඳහා වන බවට ද තොරතුරු වාර්තා වනවා. 

කෙසේවෙතත් අදාළ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය සහ ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද දැඩි කථාබහක් මතුව ඇති බවයි වාර්තා වුණේ.