Friday, May 17, 2024

General line - 0115112241

සයින්දමරුදු පිපිරීමෙන් මියගිය පිරිසගේ සිරුරු හෙට ගොඩ ගැනේ




පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් සම්බන්ධ DNA පරීක්ෂාව සඳහා 2019 අප්‍රේල් 26 සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් හෙට යළි ගොඩ ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. ඒ සඳහා කළ ඉල්ලීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

සයින්දමරුදු පිපිරීමෙන් වැඩිහිටියන් හා ළමුන් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බවට විමර්ශනවලදී නිරීක්ෂණය වූ බව ද පොලීසිය සඳහන් කළා. එහෙත් එම ස්ථානයේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බවට DNA පරීක්ෂණයේදී අනාවරණය නොවූ බවයි පොලීසිය පැවසුවේ. 

අවස්ථා 2 කදී කරන ලද පරීක්ෂණවලදී මෙය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කර ඇතැයි පොලීසිය සඳහන් කළා. ඒ අනුව හෙට උදෑසන අම්පාර පොදු සුසාන භූමියේදී එම මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණය සඳහා ගොඩ ගැනීමට නියමිතයි. 

මෙම කටයුතු අම්පාර ගරු මහේස්ත්‍රාත්තුමියගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන බවත්, මුල් අවස්ථාවලදී විමර්ශනය සඳහා සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ සියලු පෙර පොලිස් විමර්ශන නිලධාරීන් ද සමග රජයේ රස පරීක්ෂක නිලධාරීන් ද ඊට සහභාගී වන බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.