Friday, May 17, 2024

General line - 0115112241

රටේ ඖෂධ හිගය තවත් මාස 03 ක්




මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා. ඊට හේතුවී ඇත්තේ ඖෂධ ලබාගැනීම සඳහා නියමිත කාලයේදී ණයවර ලිපි විවෘත නොකිරීමයි. මාස කිහිපයක් ප්‍රමාද වී තිබූ ණයවර ලිපි රැසක් විවෘත කළේ ද මෑතකදී බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

ඊට අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කට අදාළ ඖෂධ 186 ක් ඇතුළත්. යුරෝ එක්ලක්ෂ 75,000 කට අදාළ ඖෂධ හා ශල්‍ය උපාංග 12 ක්ද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3 යි දශම 7 කට අදාළ ඖෂධ ශල්‍ය උපාංග හා වෛද්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 73 කට අදාළ ණයවර ලිපි ද ඒ අතරට ඇතුළත් වනවා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පැවසුවේ ඖෂධ ගෙන්වීමේදී ඉකුත් සමයේ ආණ්ඩුව ලබාදුන් ප්‍රමුඛතාව සම්බන්ධයෙන් ගැටළු පැවති බවයි. ඉකුත් වසරේ අග භාගයේ සිට ඖෂධ ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් දැඩි උත්සහයක නිරත වුවද, එවක මුදල් සම්බන්ධයෙන් තීරණ ගත් ඇතැම් බලධාරීන් ඊට දැක්වූ ප්‍රමුඛතාව අඩුවීම ඖෂධ හිගයට බලපා ඇති බවයි වාර්තා වන්නේ. 

මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 646 කින් 114 ක හිගයක් පවතින අතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486 කින් 186 ක්ම හිගයි. ජීවිතාරක්ෂක ඖෂධ 14 න් 2 ක හිගයක් මේ වනවිට රට තුළ පවතිනවා. 

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කළේ පවතින ඖෂධ හිගය මගහැරවීම සඳහා අවම වශයෙන් දින 100 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි. 

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද පැවසුවේ අගෝස්තු 01 වනදා වනවිට රටට අවශ්‍ය ඖෂධ සියල්ලම ලැබෙනු ඇති බවයි. එහිදී තවත් වසරකට ප්‍රමාණවත් ඖෂධ තොග මෙරටට ගෙනඒමට කටයුතු කර ඇති බව ඔහු කියා සිටියා. 

මේ අතර රට තුළ පවතින ඖෂධ හිගයට තාවකාලික විසඳුමක් ලෙස ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඉන්දුනීසියානු රජය මගින් ලබාදෙන රුපියල් මිලියන 340 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ලැබීමට නියමිත බවයි. 

මෙලෙස මෙරටට මෙවැනි ඖෂධ තොගයක් හෝ ලැබෙන්නේ රට තුළ ඖෂධ හිගයක් මතුව ඇති පසුබිමකයි. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක්ම මේවනවිටත් සිය සායනික රෝගීන්ට ඖෂධ ලබාදීම සීමාකර ඇති බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. 

මෙරටට වාර්ෂිකව ඖෂධ, අමුද්‍රව්‍ය හා වෛද්‍ය උපාංග මෙරටට ආනයනය කිරීමට වැයවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ක්.