Friday, May 17, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක ධුරයට නම් 02ක් යෝජනා වෙයි




පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා හෝ ඩිලාන් පෙරේරා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ, නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉවත් වන බව තහවුරු කිරීමත් සමගයි. 

කෙසේවෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම මේ දක්වා ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි තමාට දන්වා නොමැති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කළ හැක්කේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිගත් බව දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ සභාවට නිල වශයෙන් දැනුම්දීමෙන් පසුව පමණක් බව ද කථානායකවරයා පැවසුවා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ තමාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපතක් කථානායකවරයාට ද යොමු කර ඇති බවයි. නියමිත දිනයෙන් පසු තමන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු නොකරන බව කථානායකවරයාට ද දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පැවසුවා. 

කෙසේවෙතත් සමගි ජනබලවේගය දැන් සූදානම් වන්නේ පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගැනීමටයි. පසුව කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජනබලවේගය පැවසුවා. 

මේ අතර ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන බව කියන කිසිඳු විශ්වාසභංග යෝජනාවක ලියවිල්ලක් මේ දක්වා තමාට ලැබී නොමැති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.