Friday, May 17, 2024

General line - 0115112241

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව ජනපති තීරණයක් ගනියි




වත්මන් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුලත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය නියෝජනය කරන සහ ස්වාධින වූ දේශපාලන පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබෙනවා.

" රටේ වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා මෙන්ම අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින් ද දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රාශියක් විසින් තමන් වෙත ඉල්ලීම් කර ඇති බවයි ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

එම ඉල්ලීම සලකා බලා මේ අවස්ථාවේදී රට මුහුණදී තිබෙන අර්බුදයට පිළියමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එහි වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුලු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණය කළ යුතුවේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා සහ මේ වන විට ස්වාධින කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින් සමග මෙම 29 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ."