Tuesday, May 21, 2024

General line - 0115112241

සයින්දුමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීම ඇරඹේ

සමන් චන්ද්‍රතිලක




සයින්දුමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැනීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, අම්පාර පොදු සුසාන භූමියේදියි. ඩී එන් ඒ පරීක්ෂණ සදහා එම මෘත ශරීර කොටස් නැවත ගොඩ ගැනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව. 

ඉකුත් 2019 අප්‍රේල් 21වන දින සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනෙකු සිදුකළ පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව එම වසරේම අප්‍රේල් මස 26වැනිදා අම්පාර සයින්දුමරුදු ප්‍රදේශයේ නිවසකදී සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනු ලැබුවා. 

එම අවස්ථාවේදී නිවසේ සිටි වැඩිහිටියන් සහ ළමුන් 17 දෙනෙකු මියගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන ඩී එන් ඒ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ පුද්ගලයන් 16 දෙනෙක් පමණක් සිට ඇති බවයි. 

කෙසේ වෙතත් එම අවස්ථාවේ නිවසේ සිටි බවට සැකකරන කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් මොහොමුදු හස්තුල් බෝම්බකරුගේ බිරිඳ වූ පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී එන් ඒ අණු එම ස්ථානයේ නොතිබූ බවට අවස්ථා දෙකකදී අනාවරණය වූ බැවින් අද දිනයේ යළිත් එම මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කරන බවයි පොලීසිය වැඩි දුරටත් සදහන් කළේ.