Friday, May 17, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියා විශ්වාසයි - අගමැති




ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියා තමන්ට විශ්වාස බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයින් සමග අරලියගහ මන්දිරයේ අද පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවිය යුතු බවට වන යෝජනාවක් ද ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයින්විසින් ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ආණ්ඩුවට සහය දක්වමින් සිට පසුව ස්වාධින වූ කණ්ඩායම් වල නායකයින් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා වශයෙන් තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

රට මුහුණදී තිබෙන අර්බුදයට පිළියමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එහි වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුලු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.