Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපති කළ ඉල්ලීම ගැන කඩිනමින් තීරණයක් ගන්නා බව ස්වාධීන මන්ත්‍රීවරු කියයි




සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම පිළිබඳ සිය ස්ථාවරය කඩිනමින් දැනුම් දෙන බව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පවසනවා. 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබුණා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එකතු වන ලෙසත් ඒ පිළිබද සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා පැවැත්වෙන විශේෂ හමුවට සහභාගී වන ලෙසත් ජනාධිපතිවරයා එම ලිපියෙන් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවිමට යෝජිත එකී සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ ව්‍යුහය,ක්‍රියාත්මක විය යුතු කාලය, එහි වගකීම් ලබාදෙන පුද්ගලයන් කවුරුන්ද යන්න එම සාකච්ඡාවේදී සාකච්ඡා කර තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පක්‍ෂ නායකයින්ට එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසිදු ගිවිසුමකට එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගය සංවිධානය කළ නිදහසේ අරගලය පාගමනට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා. 

සමගි ජන බලවේගය සංවිධානය කළ නිදහසේ අරගලය පාගමන ඊයේ මහනුවරින් ආරම්භ කෙරුණා. එහි දෙවන දිනය වන අද දිනයේ මාවනැල්ලෙන්  ආරම්භ කළ පාගමන ගලිගමුව දක්වා පැමිණියා. මැයි පළමුවනදා එම පාගමන කොළඹට පැමිණීමෙන් අනතුරුව නිදහසේ අරගලය මැයෙන් සියවසේ මැයි රැලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.