Tuesday, May 21, 2024

General line - 0115112241

වෘත්තීය සමිති දහසකට අධික පිරිසක් අද වර්ජනයේ - පාසැල් සිසුන්ට අදත් අධ්‍යාපනය අහිමි වෙයි - දුම්රිය ධාවනයත් නවතී




වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් අද දිනයේ පැවැත්වෙන සංකේත වැඩවර්ජනයට එක් වන බව සමස්ථ ලංකා අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. ඊට අධ්‍යාපන, දුම්රිය, වරාය, සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිතිද ඇතුළත්. මේ, වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථ ලංකා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ. 

ආණ්ඩුවට වහා ඉවත් වන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ මෙම වැඩවර්ජනයට එක් වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ.  

ඒ අනුව අද දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුනොවන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කළේ.   

වර්ජනය ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය සහ විදුලිබල සේවා මහජනතාවට අසීරුතාවක් ඇති නොවන පරිදි සිදුකරන බවයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද පැවසුවේ තමන්ද වර්ජනයට එක් වන බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු. 

වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කළද දුම්රිය සේවකයන් වර්ජනයේ යෙදී සිටින බවයි සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසුවේ. 

මේ හේතුවෙන් විකල්ප ප්‍රවාහන සේවා භාවිතයට යොමුවන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

කෙසේවෙතත් වර්ජනය ක්‍රියාත්මක වුවත් එක් දින සේවාවන්ට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ අනුව ආගමන විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් අද දිනයේද ක්‍රියාත්මකයි. එහෙත් සේවකයින්ට රාජකාරී සඳහා පැමිණීමේදී බාධා මතුවන බැවින් එම සේවාවන් සිදුකිරීමට ද බාධාවන් එල්ල විය හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.