Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව අවට මාර්ග අද සහ හෙට වැසෙයි




පාර්ලිමේන්තුව අවට මාර්ගයන් අද සහ හෙට වසාතබන බව පොලීසිය පවසනවා. එලෙස වසා දැමෙන්නේ දියත උයන පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් ඇති පාර්ලිමේන්තු මාර්ගයයි. පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයන් ද අද සහ හෙට වසා තැබෙනු ඇති. විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදිංචි ජනතාවට අනන්‍යතාවය තහවුරු කර ගමන් කිරීමට හැකි බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය නිවේදනය කළේ අද සහ හෙට දිනවල පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමට නියමිත අතර විටින් විට එම ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්්‍යය මණ්ඩලවලට ගමන් කිරීමට බාධා ඇතිවන බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකිවී ඇතැයි නිරීක්ෂණය වන බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව මෙලෙස මාර්ග වසා තැබීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

මේ අතර 174 බස් මාර්ගයේ බත්තරමුල්ල සහ තලවතුගොඩ යන ප්‍රදේශවල අද පෙරවරුවේ දැඩි රථවාහන තදබධයක් හටගෙන තිබුණා. ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමීම සඳහා අද දිනයේ ද යකඩ බටවලින් තැනූ බාධක යොදා තිබෙනු දක්නට ලැබුණා. ඊයේ දිනයට වඩා වැඩි බාධක අද දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන්හි අද පෙරවරුවේ දැඩි රථවාහන තදබධයක් ඇති වුණා.

මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඊයේ විරෝධතාවයක් පැවති අතර මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීම ඇතුලු චෝදනා ඉදිරිපත් කරමින් තරුණ තරුණියන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් වෙනුවෙන් නීතීඥවරු 200 දෙනෙකු පමණ ස්වේඡාවෙන් පෙනී සිටි අතර එම පිරිස පුද්ගලික ඇප මත මුදා හැරුණා.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය අද පැවසුවේ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බවයි. සාමකාමී විරෝධතාවල නිරතවීමට සියලු දෙනාට නිදහසක් තිබිය යුතු බවත්, එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.