Friday, May 17, 2024

General line - 0115112241

ඩිසල් තොග නිකු කිරීම සීමා කෙරේ : හේතුව ඇමති හෙළි කරයි




නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම සමග විදුලි බලය උත්පාදනය සඳහා ඩිසල් ලබා දීමට සිදුව ඇති බැවින් දෛනිකව ඩිසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ දෛනිකව ඩිසල් මෙට්ට්‍රික් ටොන් 4000ක් නිකුත් කිරීම මේ වන විට මෙට්ට්‍රික් ටොන් 1000-1,500ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැවත ඩිසල් නෞකාවක් ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන්නේ මැයි මාසයේ 11 වෙනිදා බැවින් ඩිසල් නිකුත් කිරීම සීමා කර ඇති බවයි. 

ඊයේ දිනයේදී පෙට්ට්‍රල් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ලැබුණු බවත්, එම පෙට්ට්‍රල් තොග ඉක්මනින් පිරවුම්හල් වෙත නිකුත් කිරීමට සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පසුගිය ඉරිදා දිනයේදී නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගා වෝට් 275ක ධාරිතාවයකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක සිදුව ඇති බිඳ වැටීමක් නිසා විදුලි සැපයුම පැය 7-8ක කාලයක් සඳහා විසන්ධි කිරීමට සිදුවීමේ ඇති අවදානම මග හරවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව තාප විදුලි බලාගාර සඳහා ඩිසල් තොග නිකුත් කිරීම සඳහා පියවර ගනු ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.