Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නොහැකි පිරවුම්හල්වලට සංස්ථාවෙන් රතු එළියක්




නියමිත ප්‍රමිතියෙන් යුතුව මුදා හරින ඉන්ධන තොග එම ප්‍රමිතියෙන් යුතුවම පවත්වාගෙන යාමට අපොහොසත් වන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛණීජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. එමෙන්ම ඔවුන් සතු ඉන්ධන අලෙවි කිරිමේ බලපත්‍ර ද අහෝසි කිරිමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

ඔහු මෙම අදහස් පළ කළේ ඉන්ධන පිරවුම්හල් කිහිපයකින් අලෙවි කළ ඉන්ධනවල ප්‍රමිතිය ගැටළු සහගත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිබඳ අවධානය යොමු කරමින්. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝපට කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඇතැම් ඉන්ධන පාරිභෝගිකයින් චෝදනා කළේ එම ඉන්ධනවලට ජලය මිශ්‍ර වී ඇති බවයි. 

ඉන්ධන බෙදාහැරීමේදී පනවා ඇති සීමාවලින් බැහැරව ඉන්ධන අලෙවි කරන පිරවුම්හල්වල බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර මේවනවිට ඛණිජතෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඊයේ පස්වරු 05 වනවිට ලංකා ඔටෝ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 12,516 ක් සහ සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 7,972 ක් ඛණිජතෙල් සංස්ථාව සතුව පැවැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික්  ටොන් 27,325 ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 425 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික්  ටොන් 16,283 ක්ද ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු බවයි අමාත්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.