Friday, May 17, 2024

General line - 0115112241

හදිසි නීතිය ගැන විමසීමට, ජනපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පති, මානව හිමිකම් කොමිසමට කැඳවයි




හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ පොලිස්පති සී ඩී වික්‍රමරත්නට, එළඹෙන සඳුදා දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණෙන ලෙසයි එම කොමිසම මගින් දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ විසින් ඔවුන්ට ඒ බව දැනුම් දී තිබෙනවා. 

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් මහජනතාව වෙත රජය කරුණු පැහැදිළි කළ යුතු බව ද එම කොමිසම සඳහන් කළා. හදිසි නීතිය පනවා ඇති කාලසීමාවේ වුවද, ජනතාවගේ ඒකරාශීවීමේ සහ භාෂණයේ නිදහසට බාධාවක් නොවනු ඇති බවට විශ්වාස කරන බවයි 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද සිය විරෝධය පළ කර තිබෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ලිපියක් යොමු කරමින් එම කොමිෂන් සභාව ඒ බව දැනුම් දී තිබෙනවා. පවතින අර්බුද හමුවේ හදිසි නීතිය පැනවීම හේතුවෙන් මහජන කැළඹිලි ඇතිවිය හැකි බවයි එම ලිපියේ දැක්වෙන්නේ. 

එමගින් වත්මන් ආර්ථික තත්ත්වය තවදුරටත් අස්ථාවර වී පොදු ජනතාවට දැඩි දුෂ්කරතා ඇති විය හැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ. ඒ හේතුවෙන් සිය කොමිසම වෙත පැරවී ඇති වගකීම් ඉටුකිරීමට බාධා පැමිණීම හේතුවෙන් හදිසි තත්ත්වය බලාත්මක කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.