Friday, March 29, 2024

General line - 0115112241

ඉවසන්න - නැතිවූ සියල්ල ලබාදෙන්නම් - අගමැති රනිල් ජනතාවට කියයි




රටේ ආර්ථික අර්බුදය ”යහපත්වීමට පෙර, නරක අතට හැරෙන” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, බීබීසී ලෝක පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ රටේ ජිවත් වන ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලැබෙන ආර්ථිකයක් සැකසීමට තමන් වගබලා ගන්නා බවයි. එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වැඩිවශයෙන් මූල්‍ය ආධාර ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කළා. 

මෙරටට කඩිනම් ආධාර ලබාගැනීම සඳහා තමා ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමග සාකච්ඡා කරන බවත්  ”සාගතයක් ඇති නොවීමට වගබලා ගන්නා බවත්, රටට අවශ්‍ය ආහාර සොයාගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා බීබීසී ලෝක පුවත් සේවය වෙත පවසා තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමට ද කාලය අවශ්‍ය බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට අවශ්‍ය බව සහ සතියකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින විරෝධතාකරුවන්ගේ හැඟීම් සමග තමා එකඟවන නමුත් එය සිදුනොවන්නක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා. 

සැබෑ ආර්ථිකය දැන් අක්‍රීය බවත්,  එය බිඳවැටී ඇති බවත්, පවසන අග්‍රාමාත්‍යවරයා මෙරට ජනතාවට පවසන්නේ ඉවසන ලෙසයි. නැතිවූ සියලුදේ ආපසු ලබාදීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බීබීසී ලෝක සේවය හමුවේ පවසා තිබෙනවා.